Tuesday, January 17, 2017

ජපන්නුයි අපියි: නවකතා පටන් ගත්තු හැටි

ජපන්නුයි අපියි: නවකතා පටන් ගත්තු හැටි

නත්සුමේ සෝසෙකි- අවංක ගුරුවරයෙකුගේ කතාවක් (බොච්චන්) පරිවර්තනය: කොළඹ: සුරවීර. ඒ.වී., ප්‍රදීප ප්‍රකාශකයෝ. 1995
හිතුවක්කාර කොලු පැටියෙකු වටා ගෙතී ඇති බොච්චන් නවකතාව සිංහල පාටකයනට, විචාරකයනට ඉතා වැදගත් කෘතියක්. එය සිංහල නවකතාවේ ආරම්බය සිදු වූ අවදියේ රචිත නවකතාවක් වීම ඊට හේතුව. එම නවකතාව ආරම්භයේ එන ‘සංස්කාරක -පේරාදෙණිය විශ්වවිද්‍යාලය‘ යන සටහන සිංහල නවකතා ආරම්බය හා ජපන් නවකතාව ගැන අදහස දක්වන්නේ මෙසේයි.
“අවංක ගුරුවරයෙකුගේ කතාවක් නමින් සිංහලට නැගුණු ඔහුගේ බොච්චන් යන නවකථාව පළමුවරට ප්‍රකාශයට පත්වූයේ 1906දී ය. මෙම වර්ෂය සිංහල නවකථාවේ අපත සම්බන්ධයෙන් ද වැදගත් වූවකි. මුල්ම සිංහල නවකථා ලෙස සැලකිය හැකි ඒ සයිමන් සිල්වාගේ මීනා 1905 දීත් පියදාස සිරිසේන ගේ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් 1905දි හෝ 1906දීත් ඇම්.සී. ඇෆ්. පෙරේරා ගේ මගේ කරුමෙ 1906දීත් ඩබ්ලියු.ඒ. සිල්වාගේ සිරියලතා හෙවත් අනාථ තරුණිය 1909දීත් මාර්ටින් වික්‍රමසිංහගේ ලීලා 1914දීත් බිහිවිණ. මේ අනුව සිතා බලන විට සෝසෙකි ගේ කෘතිය මුල්ම සිංහල නවකථා හා සමකාලීනව පළවූවක් ලෙස ගිණිය හැකිය. මුල්ම සිංහල නවකථාවක හා මුල්ම ජපන් නවකථාවක ස්වරූපය තුලනාත්මකව හැදැරීමට මෙම කෘතිය බෙහෙවින් ඉවහල්වනු ඇත.“
තෝකියෝවේ උපන් දෙමාපියන්ගේ රැකවරනය හරියාකාරව නොලැබූ ගැටවරයෙකු පසුව ගම්බද පාසලක ගුරුවරයෙකු ලෙස පත්වෙනවා. එහි දී ඔහු නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දෙනවා. පසුව පාසල් පත්වීම අත්හැර තෝකියෝවටම පදිංචියට පැමිනෙනවා. මේ අතර වාරය තුල සිදු වුන දේවල් වටා  ගොඩ නැගෙන මෙම කතාව ඉතා රසවත් කතාවක්. ඒ වගේම යම් යම් ජීවිතාදර්ශයන් සපයන, එවක ජපානයේ ගම්බද සමාජය ද පිලිබිඹු කරන්නක්.
කුඩා කාලයේ දීම මව අහිමිවන බොච්චන් කියෝ නම් සේවිකාවගේ ආදරය ලබයි. ඇය ඔහුට පියාට හොරෙන් යම් යම් රසකැවිලි පොත් පත් ලබාදෙමින් රැකවරනය සලසයි. පසුව පියාත් මියගිය විට අයියා සියලු දේපල විකුනා වෙන් වෙයි. කියෝද ඇයගේ ඤාතිවරයෙක් ලගට යයි. එහෙත් කෘතිය නිමවන තෙක්ම මෙම ආනන්දජනක සෙනෙහස නොනිමාවෙයි.
ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට ඈත ගමකට යාමට තෝකියෝවෙන් වෙන්වන අවස්තාවේ කියෝගෙන් වෙන්වන මොහොත බොච්චන්ගේ සිතුවිලි මගින් දක්වන්නේ අතිශය සංවේදී අයුරෙනි. මාපියන් වෙත නොමැති සෙනෙහසක් මෙහෙකාරිය සතු වීම හා මිනිස් භාවයන්ගේ ස්වබාවය අතිශය සංකීර්ණ බව පසක් වෙයි.
“මේ අපි මුණගැහෙන අන්තිම වතාව වෙන්නත් පුළුවන්. හරියට පරිස්සම් වෙන්න ඕනෑ යි සිහින් කටහඩින් ඈ පැවසුවා ය. ඇගේ දෑස් කදුලින් පිරී තිබිණි. මම නාඩා සිටියෙමි. එහෙත් මටද ඇඩුම් යන තරම් විය. දුම්රිය සෑහෙන දුරක් ගිය පසු මම කවුලුවෙන් හිස එළියට දමා ආපසු බැලුවෙමි. එසේ කිරීම මැනවැයි මට සිතිණ. ඈ ඒ වන විටත් එතැනම සිටගෙන සිටියාය. කෙසේ හෝ ඇය පෙනුණේ අතිශයින් කුඩාවටය.“ (21)
බොච්චන්ගේ හා කියෝගේ සම්බන්දය හැරෙන්නට මෙම නවකතාව ලමා ලෝකය පිලිබදවත්, පාසලක් තුල ගුරුවරුන් ලක්වන අපහසුතාවනුත්, මිනිසුන්ගේ දුර්ගුනයන් පිලිබදවත් කරුනු රාශියක් ගෙන හැර පායි. එහෙත් එකම වකවානුවක ලංකාවේත්, ජපානයේත් රචිත නවකතා පිලිබද සන්සන්දනය කලහොත් ඉතාමත් ඉදිරියෙන් සිටිනවා.

එහෙත් ගුරුවරයෙකුගේ භූමිකාව පිලිබදව හෝ සංකීර්ණ චරිත පිලිබද ගතහැකි යමක් මෙම නවකතාව තුල එතරම් නැතත් එකම කාලවකවානුවක රචිත සිංහල හා ජපන් නවකතා අතර වෙනස නම් විශාලයි. ඉතාමත් ප්‍රබන්ධමය හා අද්භුත ජනක සිංහල නවකතා වෙනුවට යථාර්ථ රීතියක් වටා ජපන් නවකතාව සැකසෙන්නට වෙර දරනු දැකිය හැකියි. කොහොම වුනත් කියවන්නම වටින ලස්සන කතාවක් බොච්චන්. ඉතිං කියවමු. 
Post a Comment