Wednesday, November 7, 2018

ආදර ,,ඉස්කිරීම,,



හරිම අලස, ලාලසාත්මක භාෂාවක්... කාව්‍යමය ගතියක් නවකතාවක් පුරාවට එතිල තියෙන, ඒක දමිත්ම කියන විදියට හිමකිරමක් වගේ අන්තර්ගතයයි ආකෘතියයි එක්ක වෙන්කරන්න බැරිතරම් බද්ද වුනු නවකතාවක්, කෙටිනවකතාවක්, කෙටිකතාවක අවසානයක් තියෙන නවකතාවක් කියවන්න කැමති නම් ඔයාල තෝර ගන්න ඕන දමිත් උදයංග දහනායකගෙ ‘‘ඉස්කිරීම‘‘ නවකතාව.

කතාව..
ඇත්තටම කියන්න තරම් කතාවක් ඒකෙ තියෙනවද?  ඔන්න එකෝමත් එක රටක අනූ කියල කෙල්ලෙක් හිටිය. මම වැඩ කලේ ඒ අනු වැඩකරන ඔපීස්සෙකේ. අනූගෙ යාලුව මට වැඩිය වැඩිමල්. ඒත් එයා ගැන ඒකපාර්ශ්වික ආදරයක් මගේ ගාව ඇතිවුනා. එයා හැමදාම හවස මාරගහ ගාවදි මට හම්බවෙනව. අපි එකපාරක් ට්‍රේන් එකේ ගෙදර ගියා. ටික ටික අපේ හිතවත්කම් වැඩිවුනාම මට එයාට ආදරය ප්‍රකාශ කරන්න හිතුනා.
ඒත් එක්කම මගේ කවිඑයා කියවන්න ගත්ත. ඒව විචාරය කලා. අපි ලයිබ්‍රි ගියා. හවස ඇවිදින්න ගියා. මම හැමවෙලාවෙම ඒ ආදරයෙන් මුසපත් වුනා. ඒත් එයාට ඒක ගානක් නැ. පස්සෙ මම ඈත පලාතකට මාරුවෙලා ගියා. ඒත් මගේ ආදරය එයින් නැවතුනේ නැහැ. මගේ යාලුව විදුරට මගේ හැම දුකක්ම රසවත් හැඟීමක්ම කියන්න පුරුදු වුනා අතිශය රහස් මමම දැනගන්න ඕන ඒව ඇරෙන්න. පස්සෙ ආදරනීය මතකයන් එක්කම මම තනි වුනා. එයා ආදර මතකයක් වුනත් ඒක හරි ලස්සනයි. ඒ මතක ඇමතුම් තුරුලු කරං නවකතාව ඉවර වෙනව.
මේක තමයි කතාව. මේ කතාව අතරතුර වන සිදුවීම් හරහා දමිත් ආදරයේ අහුමුලු ගැන කරන ඇවිස්සීම්, ප්‍රශ්න කිරීම් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ආහ්ලාදජනක බවත්, එහි භෞතික ස්වරූපයත් පිළිබඳ නොනවතින සොයා ගැනීම් කරනව. ඒකට යොදා ගන්න ශෛලිය හරිම සියුම්. වෙනත් විදියට මේ කතාව කිව්ව නම් මේ තියෙන පාලු තනිකම මුසු සෞන්දර්යාත්මක විකාර ගතිය නැතිවෙන්න තිබ්බා.
ඒ වගේම පුදුමය මේ කතාවේ එන ප්‍රධාන චරිත දෙකටම නම් නැහැ. අනිත් අයට යාලුවන්ට හැමෝටම නම් තිබ්බත් මේ දෙන්න ඈ හා මම විතරයි. නිර්නාමික වුනත් අපි කැමති නමකින් ඒ දෙන්නව නම් කරගන්න අපට පුලුවන්. ඕන විදියකට. ඕන නම් මේ මම කියන කෙනා කෙල්ලක් වෙන්නත් පුලුවන්. මොකද කෘතිය පුරාවටම මම කියන කෙනා අඬනව. වැලපෙනවා. පොඩි වෙනස්කම් කිහිපයක් ඇරෙන්න මම ඇය කෙනෙක් කරගන්න හොඳටම ඉඩ තිබ්බ.

ආදර භාශාව
මුලින්ම කියා ඇති ආකාරයට ඔහු සිංහල භාශාවෙ නනලල භේදය මේ කෘතියෙන් ඉවත් කරනව. ආදරය ගැන කියන්න නනලල මොකටද? ඒත් මැද එක තැනක පමනක් ළ යන්නක් හමු වුනා. ඒක ඒ නිසාම විශේශයි. මෙකෙ ඉන්න අනුගෙ යාලුවා වගේ. ආදරේ හම්බෙන්නෙ නැති වුනත් ඔනි එයාමයි. පුරුදු කෙනොමයි. පුරුදු අයින් කරන්න අමාරුයි.
ඒ වගේම කටවහරේ එන ඇත්තම සන්ධිපදත්, අලුත් වචනත් මේ කෘතියේ අන්තර්ගත කරුනු අවධාරනය කරන්න අතිශයින් වැදගත් භූමිකාවක් සපයනව.
‘‘ඉක්-ඉක්මන් ගමන හින්ද, නිහඬතාවය+ හැන්දෑ හිරු එලිය+ලා වියලි හුලඟ සහිත ඒ මොහොත මනඑම් බවයි මට දැනුනෙ, ඒක ඉස්තිරයි, හොල්ට්ටෙකට , හිතුන්නෑ , බස්සෙක වගේ වචන, වාක්‍යංශ අපව පිස්සු වට්ටනව. ඒවායෙ තියෙන ඒ අවස්තාව කියන්න තියෙන හැකියාව... අවස්තාවට බද්ද වෙන අපුරුව මාරයි.
,,වෙනදට වඩා වේලාසන නිසායි ඈයි අනුයි ගියේ නුපුරුදු ගෑටිල්ලකින් පැද්දි පැද්දි. ‘‘ මේ වගේ තැන්. ඒ වගේම ඇගේ ඉරියව් ගැන කතකයා කියන මේ වගේ වාක්‍ය “හුලඟේ නලියන කොන්ඩගස් එක්කාසු කරමින් ඈ ඒව කන පිටුපස රැඳවූව පුරුදුකාරියක් වගේ.“ ආදරයක කියන්න බැරි හැඩතල ගැන ඉඟි විතරයි.
“ඈ කිව්වෙ තොල්වලින්+ඇස්දෙකෙන්+නලලින්=මුලුමනින්ම“ ගනන් පාඩමක වගේ. ඇස් තොල් නලල තව ගොඩාක් දේවල් ප්‍රකාශනයක ශක්‍යතාව වැඩිවෙන්න බලපානව. ඒකයි සමාන කරල මුලුමනින්ම කියල දාන්න පුලුවන්.
තවත් කතුවරයාගේ භාශා භාවිතයේ වැදගත්ම තැනක් තමයි මිශ්‍රක්‍රියා භාවිත කොට තිබීම. යමින් , කමින්, බොමින් කියල වාක්‍ය අවසන් කරනව. ඒව අලුත් අත්හදා බැලීම්. රසවත් අවස්තා නිරූපනයන්.

ඉස්කිරීම ඇතුලත දර්ශනයක්
ඉස්කිරීම ඇතුලෙ එහෙ මෙහෙ තාවරවන ආදරය, අසාද්‍ය කුලුඳුල් ප්‍රේමයක ප්‍රේමනීය විඳවීම කොතෙක් දැයි පසක් කරනව. ඒක දන්නෙ ඇත්තටම ඒ අත්දැකීම තියෙන කෙනෙක්ට. එහෙම නැත්තං මේක විකාරයක් වෙන්න පුලුවන්. කථකයා යනව කෙටි පනිවුඩ, ලියුම්, සිතුම් පැතුම්, හැසිරීම් ආදරයෙන් වැහිල ගිය කෙනෙක්ගෙ හැටි තමයි කියන්නෙ.
ඒ වගේම කථකයා ආදරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යම් යම් නිර්දේශයන් ඇත්තටම අපව හිරිවට්ටන තරම්. ලගා නොකරගත් අරමුනු අපට කරදරයක් වෙන්නෙ නැහැ. අපේ හිත ඇතුලෙ ඕන තරම් ඒවට ඉඩ තියෙනව. ඒත් ආදරයෙන් ලබා ගත් ආදරය වුනත් විවාහය වගේ දේවලින් ඔද්දල් වෙන්න පටන් ගන්නව. අපව ශාරීරිකව මෙන්ම මානසිකවත් අබල දුබල කරන්න පටන් ගන්නව. ඇත්තටම ආදරය කරන කෙනෙක් ලගා කරගන්නවට වඩා කරන්න ඕන ඈතින් තියන එක. මේකට හැමෝම එකඟ වෙන්න ඕන නැහැ. දමිත් කථකයා ලවා අපට කියන්නේ එයද?

 ‘‘ සත්තකින්ම අප අතර ප්‍රේමය පිවිතුරුව රඳා පැවතියේ ආදරය කටින් කියාගන්නටත් පෙර කාලසීමාව තුලයි. අප අතර ආදරය නිලවශයෙන් ආරම්භ වූ දාම එය වියැකී යාමද ආරම්බ වුනා....‘‘
ඒ වගේම කථකයා කියන කවි ඔහුගේ පෙම්වතිය හරහා විචාරය කරන්න දරා ඇති උත්සහය ඉතා වැදගත්. ඒව ඒ තරම්ම රමනීය නිර්වචන. හොඳම කවියක් ගැන විචාර කරන්න පුලුවන් කාටද? එයම රසවිඳිනවා හැර. සිය පෙම්වතිය ලවා ඔහුගේ කවි විචාරය කරවා ගන්නා කතුවරයා කවිය ගැන කරන නිර්වචනය අමුතුමු එකක්. ඒක පට්ට.
‘‘ඔබේ කවි පවසන දෙය ගැන මට කීමට දෙයක් නැත. එහෙත් ඒවායින් මා ලබන තෘත්පතිය ගැන නොකියා ද බැරිය.
ඔබේ කවි සතුටත් සොවත් අතර ගොම්මන් යාමයක ලියවුනැයි කිව හැකිය.
හැඟුම් කන්දක් ගැන කියන්නට ඔබට ඇත්තේ වදනකි. දෙකකි. ඉතින් ඒවා ඔබ වැනි කියමි. නිශ්චිත ආරම්භයක් නැති, අවසානයක් ද නැති, අරුතක් ඇත්තේද නැති, නැත්තේ ද නැති, සතුටද සොවද යයි නිශ්චිත නැති හැඟුම් පොදියකි එය. එනිසා ප්‍රේමය වැනි යැයි සිතමි.‘‘

ඒ වගේම කතුවරයා වරින් වර ගෙනෙන තිගැස්සෙන සුලු අවස්තා නිරූපන හා රූපක වගේම උපමා අපව ගොලු කරනව.

‘‘මං හිටියෙ ඇඳේ. හාන්සි වෙලා. කලුවර පොරවගෙන.
126 අගිස්සට තිබුන නම්බරය
ටවුමෙ දෙමහල් බිල්ඩිමක හෙවනැල්ලක් යට ඈ හිටියා මං එනතුරා මග බල බලා.“
මේ ඒ වගේ තැන් කිහිපයක්. තවත් ඕන තරම් උදාහරන මේ පුංචි කතා පොත පුරාම. පෝලිමට.

කතාව ඉවර වෙනකම්ම ඈ කවුදැයි නමක්වත් නැති වුනත් ඈ ගැන අපි හොඳින් දැනගන්නව. ඇගේ දැක්මෙන් ඔහුගේ හිත  කෙතෙරම් නැවුම් වෙනවද කියල කියන්න ඔහු ගන්නෙ වටපිටාවමයි.
“පේමන්ට් එක අයිනටම ගිහින් කුඩේ පිප්පුවා අර කුටු කුටුවෙන්ම.
හීන් හිරිපොදේ වැස්සක් වෙමින් තිබුනා. වායුගෝලයේ තිබුනෙ දිශාවක් නැති කැලඹීමක්.....“

ලංකාවෙ අපිට පොතක් කියවන්න ගියාම තියෙන ලොකුම අවුලක් තමයි මේ රට ඉතාම පුංචි වීම. ඒ පොතත් කතුවරයාත් අපට එකම තැන හමුවෙනව. ඒ නිසා පොත කියවන්න ගියාම කතුවරයා නිතැතින්ම අපේ ඔලුවට එනව. කොපමන හොඳ ලියවිල්ලක වුනත් කතුවරයා ගැන ගොබ්බ හැඟීමක් නම් අපට තියෙන්නෙ ඒ ක අවුල් වෙන්න පටන් ගන්නව. මම ම අත්විඳින අත්විඳපු දෙයක් ඒක. කතුවරය මරන්න අපට අමාරුයි එහෙම කල යුතු වුනත්. නිර්ධන පන්තිය, පන්ති පීඩනය, සමාජ අසාධාරනය ගැන කතා කරන පොත ලියල තියෙන්නෙ එහෙම දේවල්වලට උල්පන්දම් දෙන හාල්පාරුවෙක් නම් ...
ඉස්කිරීම අපෙන් ඒ අවුල මුදා හරිනව. මොකද ඔහු ප්‍රසිද්ද හැමවෙලාවෙම හමුවන කෙනෙක් නොවන නිසා. ඒ නිසා ඉස්කිරීම ආදර වැස්සක්. ඒ වැස්සෙ තෙමි තෙමිම මම ඉන්න ආසයි. විරාගය නවකතාවෙ ඉදිරි පියවරක්ද මෙය... තවත් කතා කරන්න ආසයි මේ පොත ගැන. ඒත් අදට ඇති.


Post a Comment